අහසින් පොළොවට

Posted: සැප්තැම්බර් 27, 2010 in ස්ථාන

Changi Airport Control Tower

මාත් මාගේ මිතුරාත් රැගත් Cathay Pacific ගුවන් සේවයට අයත් ගුවන් යානය සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවන විට යාන්තමින් එළිය වැටෙනවා පමණි. ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර අදාල ගුවන් පථය සහ ගොඩ බැස්සවිය යුතු දිශාව තෝරා ගැනීම සඳහා ගතකළ වේලාව තුළදී ජනේලයක් ළඟ ආසනයක සිටි මාහට තව ස්වල්ප මොහොතකදී පය තබන ලෝකයක් වර්ණනා කරන මේ නගරයේ, මේ රටේ මනස්කාන්ත දර්ශනයක් දැකගන්නට ලැබුණි. ඉදිරියට ගත කිරීමට තිබෙන ජීවිතය, මුණගැසෙන, කතාකරන, ආශ්‍රය කරන්නට ලැබෙන මිනිසුන්  කෙබඳු වේද? නිශ්චිත පිළිතුරු නොවිණි. මේ ගුවන් තොටුපොළ අප ගතකරන්නට සැරසෙන ජීවිතයේ එක්තරා සුවිශේෂ තැනක් වීමට නියමිත බව කිසිලෙසකත් නොදැනුනේ, ඒ අවස්ථාවේදි අප අත්දකිමින් සිටි අපූර්වත්ය නිසා වියයුතුයැයි මම සිතේ.

1981දී විවෘත කරන ලද මේ ගුවන්තොටුපොළ 2006 වනවිට පර්යන්ත 3කින්  හා තවත් Budget පර්යන්තයකින් සමන්විත අති නවීනතම ගුවන්තොටුපළක් බවට පත්විය. වර්ෂ 2007දී පමණක් “හොඳම ගුවන් තොටුපොළ සම්මාන” 19ක් දිනා ගැනීමට සමත්වූ මෙම ගුවන්තොටුපොළ මාගේ ජීවන අත්දැකීම් වලට අනුව ඉතාමත් සුහදශීලී, කාර්යක්ෂම කාර්යය මණ්ඩලයකට හිමිකම් කියන අතර පරිහරණය කිරීමට ඇති පහසුව ( accessibility) අතින් ඉතා විශිෂ්ඨ ස්ථානයක පසු වෙයි;  බසයෙන්, MRT දුම්රියෙන් හෝ කුළී රථයකින් යන ඕනෑම ක්‍රමයකින් ළඟා විය හැකි අතර පිරිසිඳුකම අතින් ඉතා ඉහළය.

අතරමංවී සිටි සිහින ලෝකයෙන් මිදී, ආගමන විගමන අවුළු පසුකර, අදාල ගමන්මළු රැගෙන අප කැටුව යාමට පැමිණ සිටි මාලක අයියාත් සමඟ කුළී රථයක නැඟී නවාතැන් ගැනීමට නියමිත මහල් නිවස (Apartment) පිහිටි Pasir Ris වෙත ගමන් කලෙමු. මෙතැන් සිට සටහන් කරන්නට යෙදෙන්නේ එසේ ආරම්භ කරන්නට යෙදුන ජීවිතය තුළ එදිනෙදා හමුවු, මුණගැසුණු, කතා බස් කල මිනිසුන්, දැක හැඳිනගත් ස්ථාන සහ අසා දැන ගත් දෑ තුළින් මා අත්දුටු පරසිඳු පුරවරක කයිවාරුවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න